පිට කොන්දෙන් එන ඉවසා ගත නොහැකි වේදනාවත් සමග ඔහු දෑස් හැර වටපිට බැලුවේය.බෙහෙත් ගඳ ඉවසන්නට අමාරුය..පිලිවෙලට එක පේලියට ඇති සුදු ඇතිරිලි යෙදු යකඩ ලෙඩ ඇඳවල් වටා රෝගින්ගේ ඥාතීන්යැයි සිතිය හැකි අය රැස් කකා තොරතුරු විමසති.නැගී සිටීමට ගත් උත්සහය ඵලක් නොවූ හෙයින් ඔහු සයනයටම යලි ඇද වැටී තමාට අහිමිව ඇති සුළැඟිල්ලෙත් වෙදඟිල්ලෙත් ඉතිරි කොටය දෙස බලා සුසුමක් හෙලුවේය.හිස් දෙනෙතින් බමන විදුලි පංකාව දෙස මොහොතක් බලා සිටි ඔහු ඒ කාරුණික මිසී ගෙන් ලියැවුණු පුංචි සටහන නැවත දිග හැර කියෙව්වේය.
"දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට ඉක්මණින් සුව වේවි".ඇගේ රවුම් වටකුරු අකුරින් ලියැවී තිබුණේ එපමණකි.
මේ ලියමන ඔහුට කල විශේෂයක් නොවන බව ඔහු දනී.සෑම උදෑසනකම ඇගේ කාරුණික දිගු ඇඟිලි වලින් ලියැවුණු පුංචි සටහනක් වාට්‍ටුවේ සියලු රෝගීන් අතට ලැබුණි.නමුත් මේ පුංචි සටහන ලියූ ඒ තැනැත්තියට ඔහු ආදරය කරන්නට පටන් ගත්තේය.කඩිසර ගමනත් අත් ගුණයත් ආදී දහසකුත් සුදුසුකම් ඇති ඇගේ නිහඬ බවටත් දිගු ඇඟිලි වලටත් ඔහු ප්‍රිය කලේය.
විටෙක මිසී හා ඔහු පෝරුවෙ සිටින සුබ සිහිනයක් දකින් සෙබළා මංගල මුදුව දැමීමේදී කලබල වී ඇහැරෙයි.ඔහු ඒ ගැන සිතන විට නෙත් දිවයන්නේ අහිමි වෙදඟිල්ල වෙතයි.ඔහුගේ අනාගතය පිලිබඳ ඔහුට ඇත්තේ අහේතුක බියකි.
දිගු වරලස ගුලි කොට බැඳ බේත් වේලත් රැගෙන එන මිසී හා දොඩමළු වෙන්නට ඔහු ප්‍රිය කරයි.කඩිසරව ඔහු ගේ සුවය උදෙසා වෙලුම් දමන ඒ දිගු ඇඟිලි දෙස ඔහු බලා සිරින්නෙ මහත් ලෝබ කමකිනි.
"මට ජීවත් වෙන්න ඕනි නෑ මිසී.ඇඟිලි දෙකක් නැති අබ්බගාතයෙක් මම.මිනිස්සු මට හිනා වේවි."
ඔහු කියන හැම වදනක්ම ඇය සිනාවෙන් අසා සිටියි.වදනකුදු නොපවසන ඈ ඔහුගෙන් සමුගෙන යන්නෙ ඒ සිනහවද නොමැකී ඇගේ මුව මඩලේ තබාගෙනමය.නමුත් පසුදා ලැබෙන සටහනේ ඔහුව දිරිමත් කරවන වදන් පෙළක් ඈ ලියා එවන්නීය.
දෙපසට වැනෙන ඔහුගේ හිත දැඩි කරගත් සෙබළා අවසානයේ ඒ කාරුණික දෑත් ඔහු සන්තක කරගන්නට අවසර පතන්නට සිතුවේය.ඔහුට ඈ උරුම වෙනු ඇතැයි ඔහු උදක්ම බලාපොරොත්තු වෙයි.නමුත් ඒ ඇසූ පමණින් කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බැලූ හෙදිය ආපසු දිව ගියාය.ඈ දිව ගිය මග මත්තෙහිම තමා තැනූ හීන මාළිගා බිඳවැටී ඉකිබිඳිමින් වැලපෙනු ඔහුට පෙනේ.
"මට සමාවෙන්න මිසී.මං මහ මෝඩයෙක්.ඇඟිලි නැති අබ්බගාතයෙක් ට කව්ද ආදරේ කරන්නෙ.මිසී මා එක්ක තරහ වෙන්න එපා.මට අනාගතයක් නෑ මිසි.." ඔහු තම දබරැඟිල්ලෙත් මහපටඟිල්ලෙත් උත්සාහයෙන් සටහනක් ඈ වෙත තැබුවෙය.
"ඇඟිල්ලක් නෑ කියල මුලු ජීව්තේම නැති වෙන්නහැ." ඇගේ දිගු ඇඟිලි වලින් වටකුරු නැවත ඔහු වෙත ලියැවී තිබුනි.
සටහන තබා යාමට සැරසුනු ඇගෙ අත තදින් අල්ලා ගත් ඔහු කලකිරීමත් තමා පිලිබඳම වූ කෝපයත් පාලනය කරගත නොහැකිව කෑ ගැසුවේය.
"මිසී මිසී ගෙ ඇඟිල්ලක් නැති වුණොත් මිසීට තේරෙයි මිසීට ජීවිතේම නැති වෙලා කියලා."
බියපත් දෙනෙත් සෙබළා දෙස යොමු කල ඈ තම දිගු ඇඟිලි එකිනෙක තදින් පටලවා ගෙන එය මුව වෙත ලං කලාය,මදක් ඒ ඉරියව්වෙන්ම සිටි ඈ කඩිසරව තම ඇඟිලි වලින් විවිධ හැඩ තල ඔහු ඉදිරියේ සිතුවම් කර ආපසු දිව ගියාය.කිසිවක් තේරුම් ගත නොහැකිව ගල් ගැසී ඒ දෙස බලා සිටි ඔහු වෙත පැමිණියේ තවත් හෙදියකි.
"එයා ගොලුයි..."
"ආ...? "
"මිසී මිසී ගෙ ඇඟිල්ලක් නැති වුණොත් මිසීට තේරෙයි මිසීට ජීවිතේම නැති වෙලා කියලා."
කියූ වදන් නැවත රැව් දෙනු මෙන් ඇසුණු සෙබළාට ගොලු ඇගේ ඇඟිළි ඔහු ඉදිරියේ සිතුවම් මවන්නාක් මෙන් දැනී නොපෙනී ගියේය.
No comments:
Post a Comment
අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!