Monday, December 31, 2012

පාට කූරු


          ඔහු චිත්‍රය දෙස දෑස් නොපියා බලා සිටියී.ඔහු අතින් නිමවූ හොඳම කලා කෘතිය මෙය බැව පවසමින් විචාරකයො පැසසුම් පිරි වදන් ඔහු අබිමුව තබති.නියම කලාකරුවෙකුගෙ උසස් ගුණාංග පෙන්නුම් කරමින් ඒ සියල්ල ඔහු හිස නමා භාර ගන්නෙ මුවින් වදනකුදු නොපවසමිනි.තදින් පියවී ඇති ඔහුගේ දෙතොලුත් ගැඹුරු දෑසුත් ඔහුගේ මුහුණට එක්කරනුයේ ගාන්ධර්වයෙකුගෙත් දාර්ශනිකයෙකුගෙත් අපූර්ව සංකලනයකි.

"ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රය මෑත කාලීනව බිහි වූ හොඳම නිර්මාණය.දෙස් විදෙස් කලාකරුවන්ගේ ඇස් නිතරඟයෙන්ම මේ චිත්‍රය දෙසට යොමු වීමට ප්‍රධානම හේතුවත් මේ තුල ගැබ්ව ඇති සුවිශේෂත්වයයි.ඇත්තෙන්ම වීදියක චිත්‍ර අඳින මෙවන් සරල මිනිසුන්ගෙන් තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නෙ.මොහු මම දකිනවා හැමදාම විහාරමහා දේවි උද්‍යානය ඉස්සරහ විවිධ හැඩතල මවමින් චිත්‍ර නිර්මාණයන් සිදු කරන හැටි,මට එදා සිතුනා මොහුගේ මේ හැකියාව දියුණු කරගැනීමට උදව් කරන්නට.නමුත් වැඩ කටයුතු රාශියක් ඇති නිසා ඒ කාර්යය මගේ අතින් අත පසු වුණා.ඇත්තෙන්ම අපේ රජය මේ වගෙ කලාකරුවන්ට උදව් කරන්න කැමති.මම තමුන්නාන්සෙලට කියන්නෙ ඒකයි අපේ පක්ෂෙට ඡන්දෙ දෙන්න කියල...."

දේශපාලඥයෝ කල දු‍ටු කල වල ඉහ ගැනීමට සමත්හුය.තමාගේ හැකියාවන් අගය කරනවා සේ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන මේ මිනිසා ගැන උපහාසාත්මක සිනහවක් මහා කලාකරුවාගෙ සිතේ ඇති වෙයි.නමුත් ඔහු තවමත් ගලක් සේ නිසලය.කලාකරුවෝ භාව විරේචනයට අදක්ෂයෝද?

පාට සරුංගලයක් සිහිගන්වන මහා පර්වතයක් දැන් වේදිකාවට අවතීර්ණ වී ඇත.කැඩිච්ච සිංහලෙන් මොන මොනවදෝ කියවූ ඇය ඔහු අබියසට විත් අතට අත දෙයි..

very nice one mister,very nice..You have a great sense of art.." දකුණත තදින් මිට මොලවා ගත් ඔහු ඇය වෙත තම වමත දික්කලේය.දෑස් ලොකු කර ඔහු දෙස බැලූ සුකුරුත්තං නෝනා අඩියට දෙකට ඔහුගෙන් ඉවත් වුණාය.

"කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ නෙ මෙයා.ගොඩේ පීපල් අයියෝ.." ඇය තම සමීපතමයෙකුට තෙපලන්නෙ හොරහින් මහා කලාකරුවා දෙස බලමිනි.

"මේකෙ තියෙන වර්ණ සංකල්පය අපූරුයි.තද රතු හා කලු පැහැය යොදා ගෙන මේ වගේ සියුමැලි මාතෘකාවක් යටතේ චිත්‍ර ඉදිරිපත් කරන්න හැමෝටම බෑ.මොකද රතු කියන්නෙ ‍රැඩිකල් වර්ණයක්.කලු කියන්නෙ අඳුර දුක පෙන්නුම් කරන වර්ණයක්.නමුත් නුඹේ නිර්මාණයේ තේමාවත් නිර්මාණයත් හරිම මටසිලු‍ටුයි.ඔබ ට කොහොම මේ වර්ණයන් මේ නිර්මාණයට පණ පොවන්න ලබා ගන්න අදහසක් ආවද මට හිතා ගන්න බෑ"

තමා ඉතා අගය කරන ප්‍රවීන කලා කරුවෙකුගෙන් ලැබූ මේ වදන් නම් ඔහුව සසල කරන්නට සමත් බව සිතුනේ ඔහු බුලත්විට කහට බැඳුනු දසන් පෙන්වා යන්තම් සිනා සුන හෙයිනි.

උත්සවයේ අවසානය සනි‍ටුහන් කරමින් ජාතික ගීය වාදනය ද ඇරඹුණි..ගතවූ පැය කිහිපය පුරාම ඔහු නෙත් යොමා සිටියේ තමා අතින් නිමවී වේදිකාවේ ප්‍රතාපවත්ව වැජඹෙන අමිල කලා නිර්මාණය දෙසයි.ලොවක් සසල කලේ තමා අතින් නිමවූ චිත්‍රයක් නොවෙද?

උත්සව සභාව නිමාවූ පසු ඔහු පයින්ම තම නිවස වෙත ගමන් කලේ තමා ලැබූ සියලු සම්මාන ආදියද කලා භවනේම තිබියදීය.ලැබූ මුදල් ත්‍යාග පවා කලා කරුවා ප්‍රතික්ෂේප කලේ නිහතමානීවය.ඔහු කලා භවනෙන් ගෙන ආ එකම දෙය ඔහුගේ කලා කෘතියම පමණි.සැබෑ කලා කරුවෙක් වෙත් ද මේ අපූරු මිනිසා ඒ තනතුරට හොඳම සුදුස්සාය.

නිවසට ආ ඔහු චිත්‍රය ගරා වැටීමට ආසන්නව ඇති බිත්තියේ එල්ලා තවත් එක් වරක් ඒ දෙස බැලුවේය.ඉන්පසු ඔහු අඩි තබන්නේ තම වර්ණ බහාලන පෙට්ටිය වෙතයි,කෘතඥ පූර්වක බැල්මක් ඒ දෙස හෙළු කලාකරුවා එය විවෘත කර එකදු පාට කූරක්වත් නොමැතිව ලත වෙන හිස් අවකාශය මෙතෙක් වේලා දකුණතේ මිටමොලවා සිටි රතු හා කලු වර්ණ කූරු දෙකෙන් පිරවූයේය.අන් අය නොදන්නා රහසක් තමා දන්නා කුඩා දරුවෙකුගේ දඟකාර සිනහවක් ඔහු මුව මත දිග හැරෙද්දී ඔහුට හවුල් වීමට මෙන් සිහිල් මද නළ පහරක් විවර වූ දොරෙන් පැමිණ ඔහු වෙලා ගත්තේය.

No comments:

Post a Comment

අකුරු කරන්න හිතට දැනුණු හැම හැගීමක්ම!