Monday, December 31, 2012

ඇඟිලි

පිට කොන්දෙන් එන ඉවසා ගත නොහැකි වේදනාවත් සමග ඔහු දෑස් හැර වටපිට බැලුවේය.බෙහෙත් ගඳ ඉවසන්නට අමාරුය..පිලිවෙලට එක පේලියට ඇති සුදු ඇතිරිලි යෙදු යකඩ ලෙඩ ඇඳවල් වටා රෝගින්ගේ ඥාතීන්යැයි සිතිය හැකි අය ‍රැස් කකා තොරතුරු විමසති.නැගී සිටීමට ගත් උත්සහය ඵලක් නොවූ හෙයින් ඔහු සයනයටම යලි ඇද වැටී තමාට අහිමිව ඇති සුළැඟිල්ලෙත් වෙදඟිල්ලෙත් ඉතිරි කොටය දෙස බලා සුසුමක් හෙලුවේය.හිස් දෙනෙතින් බමන විදුලි පංකාව දෙස මොහොතක් බලා සිටි ඔහු ඒ කාරුණික මිසී ගෙන් ලියැවුණු පුංචි සටහන නැවත දිග හැර කියෙව්වේය.

"දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔබට ඉක්මණින් සුව වේවි".ඇගේ රවුම් වටකුරු අකුරින් ලියැවී තිබුණේ එපමණකි.

මේ ලියමන ඔහුට කල විශේෂයක් නොවන බව ඔහු දනී.සෑම උදෑසනකම ඇගේ කාරුණික දිගු ඇඟිලි වලින් ලියැවුණු පුංචි සටහනක් වාට්‍ටුවේ සියලු රෝගීන් අතට ලැබුණි.නමුත් මේ පුංචි සටහන ලියූ ඒ තැනැත්තියට ඔහු ආදරය කරන්නට පටන් ගත්තේය.කඩිසර ගමනත් අත් ගුණයත් ආදී දහසකුත් සුදුසුකම් ඇති ඇගේ නිහඬ බවටත් දිගු ඇඟිලි වලටත් ඔහු ප්‍රිය කලේය.

විටෙක මිසී හා ඔහු පෝරුවෙ සිටින සුබ සිහිනයක් දකින් සෙබළා මංගල මුදුව දැමීමේදී කලබල වී ඇහැරෙයි.ඔහු ඒ ගැන සිතන විට නෙත් දිවයන්නේ අහිමි වෙදඟිල්ල වෙතයි.ඔහුගේ අනාගතය පිලිබඳ ඔහුට ඇත්තේ අහේතුක බියකි.

දිගු වරලස ගුලි කොට බැඳ බේත් වේලත් ‍රැගෙන එන මිසී හා දොඩමළු වෙන්නට ඔහු ප්‍රිය කරයි.කඩිසරව ඔහු ගේ සුවය උදෙසා වෙලුම් දමන ඒ දිගු ඇඟිලි දෙස ඔහු බලා සිරින්නෙ මහත් ලෝබ කමකිනි.

"මට ජීවත් වෙන්න ඕනි නෑ මිසී.ඇඟිලි දෙකක් නැති අබ්බගාතයෙක් මම.මිනිස්සු මට හිනා වේවි."

ඔහු කියන හැම වදනක්ම ඇය සිනාවෙන් අසා සිටියි.වදනකුදු නොපවසන ඈ ඔහුගෙන් සමුගෙන යන්නෙ ඒ සිනහවද නොමැකී ඇගේ මුව මඩලේ තබාගෙනමය.නමුත් පසුදා ලැබෙන සටහනේ ඔහුව දිරිමත් කරවන වදන් පෙළක් ඈ ලියා එවන්නීය.

දෙපසට වැනෙන ඔහුගේ හිත දැඩි කරගත් සෙබළා අවසානයේ ඒ කාරුණික දෑත් ඔහු සන්තක කරගන්නට අවසර පතන්නට සිතුවේය.ඔහුට ඈ උරුම වෙනු ඇතැයි ඔහු උදක්ම බලාපොරොත්තු වෙයි.නමුත් ඒ ඇසූ පමණින් කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බැලූ හෙදිය ආපසු දිව ගියාය.ඈ දිව ගිය මග මත්තෙහිම තමා තැනූ හීන මාළිගා බිඳවැටී ඉකිබිඳිමින් වැලපෙනු ඔහුට පෙනේ.

"මට සමාවෙන්න මිසී.මං මහ මෝඩයෙක්.ඇඟිලි නැති අබ්බගාතයෙක් ට කව්ද ආදරේ කරන්නෙ.මිසී මා එක්ක තරහ වෙන්න එපා.මට අනාගතයක් නෑ මිසි.." ඔහු තම දබ‍රැඟිල්ලෙත් මහපටඟිල්ලෙත් උත්සාහයෙන් සටහනක් ඈ වෙත තැබුවෙය.

"ඇඟිල්ලක් නෑ කියල මුලු ජීව්තේම නැති වෙන්නහැ." ඇගේ දිගු ඇඟිලි වලින් වටකුරු නැවත ඔහු වෙත ලියැවී තිබුනි.

සටහන තබා යාමට සැරසුනු ඇගෙ අත තදින් අල්ලා ගත් ඔහු කලකිරීමත් තමා පිලිබඳම වූ කෝපයත් පාලනය කරගත නොහැකිව කෑ ගැසුවේය.

"මිසී මිසී ගෙ ඇඟිල්ලක් නැති වුණොත් මිසීට තේරෙයි මිසීට ජීවිතේම නැති වෙලා කියලා."

බියපත් දෙනෙත් සෙබළා දෙස යොමු කල ඈ තම දිගු ඇඟිලි එකිනෙක තදින් පටලවා ගෙන එය මුව වෙත ලං කලාය,මදක් ඒ ඉරියව්වෙන්ම සිටි ඈ කඩිසරව තම ඇඟිලි වලින් විවිධ හැඩ තල ඔහු ඉදිරියේ සිතුවම් කර ආපසු දිව ගියාය.කිසිවක් තේරුම් ගත නොහැකිව ගල් ගැසී ඒ දෙස බලා සිටි ඔහු වෙත පැමිණියේ තවත් හෙදියකි.

"එයා ගොලුයි..."

"ආ...? "

"මිසී මිසී ගෙ ඇඟිල්ලක් නැති වුණොත් මිසීට තේරෙයි මිසීට ජීවිතේම නැති වෙලා කියලා."

කියූ වදන් නැවත ‍රැව් දෙනු මෙන් ඇසුණු සෙබළාට ගොලු ඇගේ ඇඟිළි ඔහු ඉදිරියේ සිතුවම් මවන්නාක් මෙන් දැනී නොපෙනී ගියේය.





මිලින මල


උදුම්මපු ඔලු ගෙඩි,තඩි බඩ ගෙඩි
තුන්සිය හැට පස් දවසක් උනුත් එක්කම
කැරකෙන නපුරු ලෝකෙක
අසරණව දුක් විඳින
පිපෙන්නට ඉඩ නොලැබ
අකලට මිලින පොහොට්‍ටුව නුඹ
   ..මනුස්සකම....  

අඳ වාදකයා

උනුන් පරයා දිවෙන පය
නතර විය මොහොතකට
කන්කළු ව මුසුවන
අඳ නුඹේ වෙණ නදට..

වාරු වුණ සුදු සැරයටිය
සැලෙයි අඳ නෙත් වැයෙන තනුවට
තුරුලතා මල් පවා
නැලවෙතී තාලයට..

නොපෙනෙනා ලොවක්අබියස
ඇස් පෙනෙන මිනිසුන්ට
පුදුමයි නුඹේ අඳ
නෙත් පසක් කල ජීවිතය..

පාට කූරු


          ඔහු චිත්‍රය දෙස දෑස් නොපියා බලා සිටියී.ඔහු අතින් නිමවූ හොඳම කලා කෘතිය මෙය බැව පවසමින් විචාරකයො පැසසුම් පිරි වදන් ඔහු අබිමුව තබති.නියම කලාකරුවෙකුගෙ උසස් ගුණාංග පෙන්නුම් කරමින් ඒ සියල්ල ඔහු හිස නමා භාර ගන්නෙ මුවින් වදනකුදු නොපවසමිනි.තදින් පියවී ඇති ඔහුගේ දෙතොලුත් ගැඹුරු දෑසුත් ඔහුගේ මුහුණට එක්කරනුයේ ගාන්ධර්වයෙකුගෙත් දාර්ශනිකයෙකුගෙත් අපූර්ව සංකලනයකි.

"ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රය මෑත කාලීනව බිහි වූ හොඳම නිර්මාණය.දෙස් විදෙස් කලාකරුවන්ගේ ඇස් නිතරඟයෙන්ම මේ චිත්‍රය දෙසට යොමු වීමට ප්‍රධානම හේතුවත් මේ තුල ගැබ්ව ඇති සුවිශේෂත්වයයි.ඇත්තෙන්ම වීදියක චිත්‍ර අඳින මෙවන් සරල මිනිසුන්ගෙන් තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නෙ.මොහු මම දකිනවා හැමදාම විහාරමහා දේවි උද්‍යානය ඉස්සරහ විවිධ හැඩතල මවමින් චිත්‍ර නිර්මාණයන් සිදු කරන හැටි,මට එදා සිතුනා මොහුගේ මේ හැකියාව දියුණු කරගැනීමට උදව් කරන්නට.නමුත් වැඩ කටයුතු රාශියක් ඇති නිසා ඒ කාර්යය මගේ අතින් අත පසු වුණා.ඇත්තෙන්ම අපේ රජය මේ වගෙ කලාකරුවන්ට උදව් කරන්න කැමති.මම තමුන්නාන්සෙලට කියන්නෙ ඒකයි අපේ පක්ෂෙට ඡන්දෙ දෙන්න කියල...."

දේශපාලඥයෝ කල දු‍ටු කල වල ඉහ ගැනීමට සමත්හුය.තමාගේ හැකියාවන් අගය කරනවා සේ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන මේ මිනිසා ගැන උපහාසාත්මක සිනහවක් මහා කලාකරුවාගෙ සිතේ ඇති වෙයි.නමුත් ඔහු තවමත් ගලක් සේ නිසලය.කලාකරුවෝ භාව විරේචනයට අදක්ෂයෝද?

පාට සරුංගලයක් සිහිගන්වන මහා පර්වතයක් දැන් වේදිකාවට අවතීර්ණ වී ඇත.කැඩිච්ච සිංහලෙන් මොන මොනවදෝ කියවූ ඇය ඔහු අබියසට විත් අතට අත දෙයි..

very nice one mister,very nice..You have a great sense of art.." දකුණත තදින් මිට මොලවා ගත් ඔහු ඇය වෙත තම වමත දික්කලේය.දෑස් ලොකු කර ඔහු දෙස බැලූ සුකුරුත්තං නෝනා අඩියට දෙකට ඔහුගෙන් ඉවත් වුණාය.

"කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ නෙ මෙයා.ගොඩේ පීපල් අයියෝ.." ඇය තම සමීපතමයෙකුට තෙපලන්නෙ හොරහින් මහා කලාකරුවා දෙස බලමිනි.

"මේකෙ තියෙන වර්ණ සංකල්පය අපූරුයි.තද රතු හා කලු පැහැය යොදා ගෙන මේ වගේ සියුමැලි මාතෘකාවක් යටතේ චිත්‍ර ඉදිරිපත් කරන්න හැමෝටම බෑ.මොකද රතු කියන්නෙ ‍රැඩිකල් වර්ණයක්.කලු කියන්නෙ අඳුර දුක පෙන්නුම් කරන වර්ණයක්.නමුත් නුඹේ නිර්මාණයේ තේමාවත් නිර්මාණයත් හරිම මටසිලු‍ටුයි.ඔබ ට කොහොම මේ වර්ණයන් මේ නිර්මාණයට පණ පොවන්න ලබා ගන්න අදහසක් ආවද මට හිතා ගන්න බෑ"

තමා ඉතා අගය කරන ප්‍රවීන කලා කරුවෙකුගෙන් ලැබූ මේ වදන් නම් ඔහුව සසල කරන්නට සමත් බව සිතුනේ ඔහු බුලත්විට කහට බැඳුනු දසන් පෙන්වා යන්තම් සිනා සුන හෙයිනි.

උත්සවයේ අවසානය සනි‍ටුහන් කරමින් ජාතික ගීය වාදනය ද ඇරඹුණි..ගතවූ පැය කිහිපය පුරාම ඔහු නෙත් යොමා සිටියේ තමා අතින් නිමවී වේදිකාවේ ප්‍රතාපවත්ව වැජඹෙන අමිල කලා නිර්මාණය දෙසයි.ලොවක් සසල කලේ තමා අතින් නිමවූ චිත්‍රයක් නොවෙද?

උත්සව සභාව නිමාවූ පසු ඔහු පයින්ම තම නිවස වෙත ගමන් කලේ තමා ලැබූ සියලු සම්මාන ආදියද කලා භවනේම තිබියදීය.ලැබූ මුදල් ත්‍යාග පවා කලා කරුවා ප්‍රතික්ෂේප කලේ නිහතමානීවය.ඔහු කලා භවනෙන් ගෙන ආ එකම දෙය ඔහුගේ කලා කෘතියම පමණි.සැබෑ කලා කරුවෙක් වෙත් ද මේ අපූරු මිනිසා ඒ තනතුරට හොඳම සුදුස්සාය.

නිවසට ආ ඔහු චිත්‍රය ගරා වැටීමට ආසන්නව ඇති බිත්තියේ එල්ලා තවත් එක් වරක් ඒ දෙස බැලුවේය.ඉන්පසු ඔහු අඩි තබන්නේ තම වර්ණ බහාලන පෙට්ටිය වෙතයි,කෘතඥ පූර්වක බැල්මක් ඒ දෙස හෙළු කලාකරුවා එය විවෘත කර එකදු පාට කූරක්වත් නොමැතිව ලත වෙන හිස් අවකාශය මෙතෙක් වේලා දකුණතේ මිටමොලවා සිටි රතු හා කලු වර්ණ කූරු දෙකෙන් පිරවූයේය.අන් අය නොදන්නා රහසක් තමා දන්නා කුඩා දරුවෙකුගේ දඟකාර සිනහවක් ඔහු මුව මත දිග හැරෙද්දී ඔහුට හවුල් වීමට මෙන් සිහිල් මද නළ පහරක් විවර වූ දොරෙන් පැමිණ ඔහු වෙලා ගත්තේය.

Sunday, December 30, 2012

හීන

 සුදු පාටට මල් පිපියං
අප්පච්චිගෙ නෙතු අද්දර
අප්පච්චිගෙ සිනා ‍රැල්ල
ආසයි ආයෙත් දකින්න..

දන්නවා නුඹ හරි සැර බව
නංගිගෙ කඳුලැලි වලින්ම
ඒ උනාට නුඹ විතරයි
අප්පච්චිට හීන දෙන්නෙ

අලුත් ගවුම් පොත් පැන්සල්
කට පුරෝලා සීනි බෝල
මේ ඔක්කොම නුඹේ අතේ
එපා හීන උදුරගන්න

ඉරිදා පොලේ අපට උරුම
ඉටි කොලේට යටින් ඉඳන්
ගණන් උස්සපන් තව තව
කාසි පනම් අතට එන්න

ලොකු මහතැන් නොබැලුවාට
අපේ පැලට එලිය දෙන්න
දිගැටි හරිත නුඹේ හැඩය
අත හිත දෙනවා හරියට

දහඩිය බිඳු පොහොර කරං
අක්කරයක් වපුරවාපු
අප්පච්චිගෙ හීන ගොන්න
මිරිස්..

සබන් බෝල

ගාලු මුවදොර පුරා විසිරි ඇත්තෙ එකම හිස් ගොඩකි.අවුරුද්දක නිමාවත් සමඟ තවත් වසරක් පිළිගන්නට ඔවුහු බලා සිටින්නෙ නොඉවසිල්ලෙනි.

"අප්පච්චී අර බලන්නකෝ..අප්පච්චි. . ."

මපුතු කුමක්දෝ දෙස නෙත් යොමාගෙන මගේ අත අදියි.මම ඒ දෙස බලන්නට බිය වීමි.ඔහු කිසිවක් ඉල්ලුවහොත් එය ලබා දීමට තරම් අප්පච්චි පෝසත් නැති බව ඔහු දැනගනු ඇතයි මම බියවීමි.මේ පළමු වර නොවේ..මේ අවසන් වාරයද නොවේ..

"යමෙකු දුප්පත්ව ඉපදීම ඔහුගේ වරද නොවේ..නමුත් දුප්පත්ව මිය යාම ඔහුගේ වරදකි"

මපුතු දුප්පත් වීම ඔහුගේ වරදක් නොවන බව මම දනිමි.නමුත් මැදි වියේ පසු වන මා දුප්පත්ව මිය යනු ඇති..මට මා පිලිබඳවම විටක උපදින්නෙ පිලිකුලකි.මම මටම වෛර කරමි.ගරහමි.

"නුඹ මෝඩයෙක්.කිසිවක් කල නොහැකි නිකමෙක්.කාලකන්නියා යන පදයට නුඹ තරම් නිදසුනක් තව නැහැ.."

පුතු මේ ලොව තුල මට ඇති එකම බන්ධනයයි..බන්ධනං ජායතී සෝකෝ....පුතු නොවන්නට මා මේ වන විටත් මරණයේ සුවය අත්විඳින්නට තීරණය කර අවසන්ය..

සිතට දිරිය ගෙන මා පුතු නෙත් යොමා සිටින දෙසට හිස හැරෙව්වෙමි..

"තාත්තෙ අර බලන්නකො සබන් බෝල..ලස්සනයි නේද??ඒවා අවුවට දිලිසෙනවා.ලස්සනට පාට පාටට..හරි පුදුමයි අප්පච්චි.."

ඔහු ඒවා දැන් ඉල්ලතැයි දැන් ඉල්ලතැයි මගේ සිත කියයි..නමුත් ඔහු ඒ දෙස බලා සිටිනවා පමණකි..ඔහුගේ දීප්තියෙන් බබලන නෙත් අස්සෙහි කුමක්දෝ හිස් බවක් ගැබ්ව ඇත.සත්තකින්ම ඔහුට හිස් බව ආගන්තුක නැත.

"අප්පච්චී...අප්පච්චි ආස නැද්ද සබන් බෝල උඩ යවන්න? "

මම සබන් බෝල වලට වෛර කරන බව ඔහු දනී නම්..නමුත් මා ඒ බව මේ පුංචි සිතට කිව යුතු නැත.මම ගොළු වීමි.මට කොයින්ද නුඹ වෙනුවෙන් පිළිතුරක්..මම පිළිතුරක් නොදී ඔහුව ක්ෂිතිජය වෙත යොමු කලෙමි.

"අර බලන්නකො පුතේ පේනවද අහසයි මුහුදයි එකට එකතු වෙනවා වගේ?"

""හ්ම්ම්.. ඒ උනාට ඒවා ඇත්තටම එකතු වෙන්නැහැ අප්පච්චි.."

මගෙ දෙතොලට මටත් හොරා සිනහවක් නැගුනි.පුංචි කමට දන්න දේවල්..

"" ආ....ඉතිං පුතා කොහොමද ඒක දන්නෙ?"

"නෑ අපේ ටීච කිව්වෙ,සමහරවිට ටීචට අහසයි මුහුදයි එකතු වෙන තැනක් හොයාගන්න බැරි වෙන්න ඇති නේද අප්පච්චි?"

"පුතා ලොකු වුනාම හොයාගන්නකො ඇත්තටම ඒ දෙක එකට එකතු වෙනවද නැද්ද කියලා.කවුරුවත් කිව්වට විශ්වාස කරන්න යන්න එපා.අපි දැන් යමු නේද?‍රැ උනාම පුතා කලුවරේ යන්න බයයි නෙ."

බැරෑරුම් පෙනුමක් මුහුණට නගා ගනිමින් ඔහු මාගේ අත අල්ල ගනියි.. මම අවසන් වතාවට ක්ෂිතිජයට නෙත් යොමා පියවර මැන්නෙමි..පුතු සෙමින් සෙමින් මා සමග ඉදිරියට ඇදෙයි.කතා පෙට්ටිය වැහිලා වගෙයි..

"අප්පච්චි..දන්නවද?මම සබන් බෝල උඩ යවන්න ආස නෑ කියල?"

මම ගැස්සුනෙමි.විදුලියක් සිරුර පුරා දිවගොස් නතර විය.ප්‍රශ්නාර්ථයක් සමගින්ම මා මපුතුගෙ මුව දෙසට හැරුනෙමි.එසේ නම් ඔහු උඩ පැන පැන අත්පොඩි තලමින් ඒ දෙස බලා සිටියේ ඇයි.?මා ඔහුට කලේ වරදක් යැයි මගේ සිත සැලෙයි.ඔහුට ඒ ආසාව නැති වන්නට ඇත්තෙ එසේ කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුන නිසා වෙන්නට ඇති.

"ඒව ලස්සනයි.හැමෝමව පහු කරගෙන ආඩම්බරෙන් උඩට යනව.ඒත් උඩට උඩට ගිහින් පිපිරුනාම මුකුත් ඉතුරු නෑ අප්පච්චි.ඒක හිස්...ඇයි අපි ඒ වගෙ ඒවට කැමති වෙන්නෙ ඉතිං? "

නිහඬ බව...නුඹට දෙන්නට මට උත්තර නෑ මගේ පුතේ.උඹ මට වඩා පෝසත්..කලකිරීම,වෛරය කැටි කරගෙන දුක් විඳින මට වඩා නුඹ පෝසත්..!

Saturday, September 29, 2012

ඇරඹුමට පෙර කිව යුතු වග නම්..



මෙහි අන්තර්ගතය "යථාර්තය" ට එහා ගිය යමකි.සිතක ඇතිවිය හැකි හැඟීම් හා සිතිවිලි වලට ඉමක් කොනක් නැත.ඒ සිත තුල තෙරපෙන සිතුවිලි වලට වැට කඩොලු නැත,එලෙස වට කඩොලු බැඳීමද පාපයක් යැයි සිතමි.කිසිවෙකුටත් හානියක් නොවන එය හුදෙක් පාවෙන සිතෙක ඇති වෙන්නා වූ "සිහින" පමණකි.මේ තුල ඇතුලත් දෑ සියල්ල සිතක හටගත් සංකල්පනා ඔස්සෙ දිව යන්නක් මිස ලොව තුල පැවති හෝ පවතින්නා වූ හෝ මතු දිනෙක සිදුවිය හැකි දෑ නොවිය හැකිය.හුදෙක් රසවින්දනය උදෙසා පමණක් ලියන මෙම ලියවිල්ලෙහි කොතැනක හෝ පරස්පර විරෝධී දෙයක් අන්තර්ගත වූයේ නම් එය මායා දෘශ්ටියක් ලෙසින්ම සිතා බැහැර කරන මෙන් කාරුණිකව ඉල්ල සිටිමි.  

            ඉදින් අවසරයි පන්හිඳ අතට ගන්නට..